ගරු.ඇමතිතුමාගේ පණිවුඩය

අපි අපට කරන්න පුළුවන් මොනවාද දැන ගන්නෙ කොහොමද? ආතර් සී. ක්ලාක් වරෙක කිව්වෙ සීමාව අපට දැන ගන්න පුළුවන් එකම ආකාරය හැකියාවේ සීමාව ඉක්මවා ගොස් බැරි දේවල් කරන්නට උත්සාහ කිරීමෙන්ම පමණක් බවයි. මගේ උත්සාහයත් ඒකමයි. සීමාවන් තියෙන්නෙ විද්යාඥයින්ට හා තාක්ෂණඥයින්ට. අද මා දෙපිරිසටම අයත් නැහැ. (අතීතයේ මා විද්යා උපාධියක් හදාළ බවත් රසායන විද්යාව මගේ ප්රියතම විෂයය වූ බවත් වෙනම කතාවක්.) මා ක්ෂේත්රයෙන් පිටස්තරයකු වීමේ වාසිය කළ හැකි හා නොකළ හැකි දේ අතර සීමාව සෙවීමේ භූමිකාවේදී උපරිම ලෙස භාවිතා කරන්නයි මගේ අදහස.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැතිවරයා හැටියට මගේ අවධානය යොමු වෙන්නෙ (වැඩි දෙනෙක් හිතන්න පුළුවන් විදියට) පරිගණක, ජංගම දුරකථන වැනි වෙනත් ඉලෙක්ට්රොනික මෙවලම්, ඉන්ටර්නෙට් හෝ Virtual Reality (VR), Social Networking, Artificial Intelligence (AI), Internet of Things (IoT) වැනි ඒහා බැඳුණු තාක්ෂණයන්ට නෙවෙයි. මේවා මෙච්චරකල් දියුණු වුණේ අපේ සම්බන්ධයක් නැතුව. ඉදිරියටත් ඒවා අපේ සම්බන්ධයක් නැතුව දියුණු වෙයි. රටකට රජයක් ඕනැ මේවා දියුණු කරන්න නෙවෙයි. අපේ භූමිකාව විය යුතු සමාජයේ හැම දෙනාටම මේ තාක්ෂණයන්ගෙන් උපරිම ප්රයෝජනය ගන්න පුළුවන් විදියේ පරිසරයක් තැනීම. ඔව්, හැමදෙනාටම! ඒකට කෙනෙක් දුප්පත්ද පොහොසත්ද, ජීවත් වෙන්නෙ නගරයකද, ගමකද, උගත්ද නැද්ද වගේ කාරණා අදාළ නැහැ. කොටින්ම ආබාධිත කෙනෙකුට පවා මේ අවස්ථාව ලැබිය යුතුයි. අපේ අමාත්යාංශයේ අරමුණ ඊට අත්යාවශ් තාක්ෂණික, ආර්ථික හා නෛතික රාමු නිර්මාණය කිරීමයි. කෙටියෙන් කිව්වොත් ඇමෙරිකානු ඩොලර් 4,000 පමණ ඒක පුද්ගල ආදයමක් ඇති ජන කොටසකට දියුණු රටක පුරවැසියකු අත් විඳින ආකාරයේ ජීවන තත්ත්වයක් ලබා දීමයි අපේ බලපොරොත්තුව. ඔව්, අපි ඊට කැප වෙනවා. අනිවාර්යයෙන්ම!